Friday, July 1, 2011

මගේ ආදරේ ...




යාළුවනේ අද මට හිතට සතුටු දවසක්. හැම දුකක්ම කියන ඔයාලට මේකත් කියන්න හිතුවා. අද මම මගෙන් ඈතට ගිය මගෙ හීනය මුන ගැහෙන්න ගියා. ඒ ලස්සන හීනය මේ ආත්මෙදි අපි දෙන්නටම හැබෑ කර ගන්න වෙන්නෙ නම් නෑ. ඒත් අපි ඉඳල හිටල ඒ හීනය අළුත් කර ගෙන මේ ආත්මෙ ජීවත් වෙන්න ශක්තිය ගන්නවා. අදත් ඒ වගේ ලස්සනම ලස්සන දවසක්.

සෑහෙන දවසකට පස්සෙ මට එයාව අද මුන ගැහෙන්නෙ. උදේ නැගිට්ට වෙලාවෙ ඉඳන් මාව ඇතුලෙන් ගැහෙනවා වගේ වුනා. එයා එනවා කියපු තැනට, ඒ කියන්නේ අපේ සුපුරුදු තැනට යනකම් මට හිතුනෙම එතනට තව දුර වැඩිවෙනවානම් කියලාමයි. මොකද එතකො‍ට ඒ මොහොත තව ඉස්සරහටනේ. ඒත් ඉතින් මම කොහොමහරි ගියා. ලං වෙද්දි මාව ඇදන් වැටෙන තරම්, කාලෙකට පස්සෙ ඒ මොහොත කොහොම වේවිද කියලා. මගෙ පනටත් වඩා මං ආදරේ කරන මගේ ආදරේ කෙට්ටු වෙලාද මහත් වෙලාද එයා මට තිබුන ආදරේ වෙනස් වෙලාද ප්‍රශ්න ගොඩක් හිත ඇතුලේ. පව් එයා ගොඩක් වෙලා එතන හිටියා මං එනකම් ලංකාවේ පාරවල්වල මහිම නිසා. ඒත් මුකුත් කියන්නෑ කියලා මං දන්නවා. අනේ මගේ අහිංසකයා පළවෙනිම දවසෙ වගේම අදත් එතනම හිටගෙන හිටියා ඈත ඉඳන් මගෙ දිහා බලාගෙන. මම එදා ඉඳන් අද වෙනකම් සේරම සිදුවීම් හදවත් තිරයේ දිග ඇර ඇර හුඟක් අමාරුවෙන් හිමින් හිමින් එතනට ගියා.



සුපුරුදු ලෙන්ගතුකම ඒ හිනාමුසු පිලිගැනීම අපේ පළවෙනි දවසෙ වගේමයි. මාව හිරිවැටිලා ගියා යාළුවනේ සත්තයි. කඳුළු තෙරපෙනවා ඇස් වල. අමාරුවෙන් ඒවා රඳවා ගත්තා. එයා කෙට්ටු වෙලා. මුනත් ටිකක් විතර කළු වෙලා. ඒත් ඒ හිත ඒ ආදරේ රැකවරණය සෙනෙහස ඒ විදියමයි. අපි හිමින් හිමින් නිදහසේ මොනාහරි කන්න බොන්න පුළුවන් කතා කරන්න පුළුවන් තැනකට ගිහින් කේකුයි අයිස් කෝපියි ගත්තා. හැමදාම වගේ එයා කන්නේ බොන්නේ මං කැමති දේවල්මයි. ඒවට තමයි එයත් කැමති. අන්න ඒ වගේ ආදරනීය ගති නිසා තමයි එයා මගේ හිත මේ තරම් තදින් බැඳගෙන ඉන්නේ. ඒත් මේ ජීවිතේ අපේ මාවත් නොහිතපු විදියට වෙනස් වුනා. ලබන ආත්මෙ එනකම් අපි හිතින් විතරක් බැඳිලා මේ ජීවිතේ ගෙවා ගන්න නිහඩවම පොරොන්දු වෙලා තියනවා
 

ඉතින් නිදහස් තැනකට ගිහින් අපි කතා කර කර කේක් කෑවා. අන්කිම කේක් කට එයා ටිකක් කාලා ඉතිරිය එහෙමම මට කැව්වා. මාව පිච්චෙන්නේ ඒ වගේ ආදරනීය වැඩ වලට. කොච්චර දුක හිතුනත් මං ඒ වැඩ වලට ගොඩක් කැමති. එයා පුරුදු විදියට මගේ ඔළුව අත ගගා හිටියා. (මං ඊට පස්සේ තාම ඔළුව පිරුවෙත් නෑ ලෝභයි වගේ.) එයාට මගෙන් ඈතට යන්න සිද්ද වෙච්ච දවසෙ ඉඳන් අද වෙනකම් අපේ අම්මට වත් මගේ ඔළුව අතගාන්න වුනේ නෑ. මං එයාට එයාගෙ පහු වෙච්ච උපන් දිනේ තෑග්ග දුන්නා. ඒකෙන් එයාට කිසිම ප්‍රයෝජනයක් නෑ. ඒත් ආදරනීය තෑග්ගක්. ඒක දැකලා එයාගෙ ඇස් බොඳවෙනවා මට තේරුනා. මගේ ඇස් වලිනුත් කඳුළු පේලි ගලාගෙන ගියා. මම ඒවට ඉඩ දීලා හිටියා. මොකද ඒ ඇස් දෙක ඉස්සරහ ඇඩුවත් මගෙ හිතට සැනසිල්ලයි. ඒ වැඩේට එයානම් කැමතිම නෑ. ඒත් මට ඒක නවත්තගන්න බෑ. එයා වෙනුවෙන් මට නිදහසේ කරන්න පුළුවනුත් එච්චරයි
 
අද අපි ගොඩක් කතා කලා ඇත්තටම ගොඩක්. එයාලග ජීවිතේ ගැන මගේ ජීවිතේ ගැන. අද එයා ගොඩක් නිදහසේ කතා කලා. එයා ඒ කාලෙත් මේ සම්බන්ධය නිසා මගේ හිතට බරක් එකතු වෙන විදියට වැඩ කලේ නෑ. මං දන්නවා ඒක මැරෙන කල් ඒ විදිය තමයි. එයා ලඟ මට දැනෙන නිදහස මට නම් වචනයෙන් විස්තර කරන්න බෑ ඇත්තමයි. ඒ තරම් නිදහස්. කැමති දෙයක් කියන්න කරන්න මට පුළුවන්. එයා කවදාවත් මට අපහසුවක් වෙන විදිය‍ට හැසිරිලා නෑ. මින් ඉදිරියටත් අපි මොන විදියට කොහේ කා ලඟ ජීවත් වුනත් ඒක එහෙමමයි. හරියට හොඳ තාත්ත කෙනෙක් ගාව ඉන්නවා වගේ. එයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මගේ තාත්තට වඩා ගොඩක් හොඳයි. මම උපන් දා ඉඳන් තාත්තා මගෙන් ගොඩක් ඈතයි. ඒ හිස්තැන මගේ ආදරේ, පුංචි කාලෙකින් ආයි හොයන්න බැරි වෙන්න වහලා දැම්මා. ඒ තරමට එයාගේ ආදරේ අපරිමානයි. දැන් තියන වාතාවරණය අනුව අපි කොහොමත් ආදරේ කරන්නේ ඒ වගේ තද මානසික බැඳීමකින් පමණයි
 


කොච්චර කැමති වුනත් ඉතින් ඉන්නවා කියලා අපිට දිගටම එහෙම ඉන්න බෑනේ. ඒ නිසා අමාරුවෙන් නැගිටලා ආවා. වෙන් වෙන්න කිට්ටු වුනාම මං එයාගෙ පින්තූරයක් අරන් මතකයට සාක්කියක් රඳව ගත්තා. එයා දන්නවා මේ වෙලාව මට ගොඩක් අමාරු බව. ඉතින් එයා මාව ඉක්මනින් පිටත් කලා. මං එයාගෙ කකුල් දෙක අල්ලලා වැඳලා මගේ රත්තරන්ට බුදු සරණ පතලා ආවා. එවෙලෙ ඉඳන් මගේ මුවේ ඇඳුනු හිනාව පැයක් දෙකක් යනකම් මගේ ලඟ තනියට හිටියා. මඟ දිගට මුන ගැහෙන හැමෝ එක්කම මට හිනා වෙන්න කතා කරන්න හිතෙනවා. ඒ මැද්දෙන් කඳුළුත් එනවා නැත්තෙ නෑ. මට කාලය නවත්තන්න හිතෙනවා ඒත් කොහොමද? අද මට මේ post එක type කරන්නත් සෑහෙන වෙලාවක් ගියා. අකුරු පැටලෙනවා යාළුවනේ. ඒ තරම් හිත ආදරේට ලෝභ කරනවා. post එකත් හිතුවට වඩා ගොඩක් දිගයි. ඒකට සමා වෙලා මේක කියෙව්වට පින්. මේ දෝර ගලන්නේ ඒ මොහොත මගේ හිතේ මැව්ව සතුට.

අද මේ ජීවිතේ එක් මන්සන්ධියකදි අපි මුන ගැහුනා. ආයෙත් වෙන් වෙලා අපේ පාරවල් වලට යොමුවුනා. තවත් මේ වගේ ආදරේ පිවිතුරු සුවඳක් විතරම විතරක් ගලා හැලෙන මංසන්ධි ගොඩක් තියේ අපේ මේ ජීවිතේ. හැබැයි කොච්චර කාල වලින්ද කියලා දන්නේ උඩ ඉන්න දෙයියොම තමයි. එතකම් මේ ශක්තියෙන් අපි ජීවත් වෙමු. මේ post එක කියවන හැමදාකම මට මේ මොහොත දැන් වගේ දැනේවි.

මගේ රත්තරන්ට මේ සසර පුරාවටම මං ගොඩක් ආදරෙයි. බුදු සරණයි ඔයාට. ඔයා කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕන. මේක කියවන ඔයාලට මේ අපබ්‍රංස ආදර කතාවේ (මොකද ඔයාල මේක දන්නේ මෙතෙක් ලියපු නිසදැස් වලින් විතරනේ.) සුවඳ දශමයක් හරි දැනුනා නම් comment එකක් නොදැම්මත් (දැම්මා නම් මට හිතට හයියයි.) ඔයාලගෙ මේ පිස්සු blog යාළුවට ලබන ආත්මෙ ඉඳන් උපදින හැම ආත්මෙකම මේ ආදරේ එයාගෙම, එයාගෙ විතරක්ම කරගන්න පුළුවන් වෙන්න කියලා පතන්න. ඔයාලටත් බුදු සරණයි. මං එයාගෙ මැණික, ඔයාලගෙ කැමීලියා මල.


Kabhi Alwida Naa Kehna...

13 comments:

  1. ආදරේ බැදේන්නේ අපේ මුළු ආත්මයෙන්ම.. එහෙම බැදන ආදරේ හරිම සොදුරුයි.. මිහිරියි.. ඔයාලට් අඑකතු වෙන්න බැරි අයි කියලනම් මම දන්නේ නෑ.. ඒත් ඔයාලගේ හිත් දැනටමත් එකතු වෙලා ඉවරයි.. ජීවත් වෙන්න ආදරය වෙනුවෙන්.. ආදරයට ආදරය කරන්න..

    ReplyDelete
  2. මගේ ඇස් වලට කඳුලු ආවා සහෝදරී. ඔයා වගේ කෙල්ලො මේ ලොකේ ඉතාම දුර්ලභයි සහෝදරී.ඔයාගේ එයා මේ ලොකේ වාසනාවන්තම කෙනා කියලා මම හිතනවා.ඇත්තටම ඔයාලට මානසික පහස හරි තියෙනවා මට ඒකත් නෑ දැන්. ඔයලා හරිම වාසනාවතයි.ඔයලා ගොඩක් පින් කරලා.අද කාලේ සල්ලාල බොඳල ආදරයවල් රජ කරන කාලේ මේ වගේ ආදරය පවතිනවා කිව්වා ම මගේ දැස් වලට කඳුලු ආවා. ඔයලාගේ ආදරේ ඉතා ගෞවරනීය.ඒත් සැබෑ ආදරේ අද ගොඩක් අයට හඳුනා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. මාත් මගේ නංගිට එයා කාට අයිති වුනත් මගේ පණවගේ ආදරෙයි සදහටම.එයාටත් ඔයාලා දෙන්නටත් සැපවත් දුකෙන් තොර සතුටුදායක දිවියක් මගේ හදවතින්ම පතනවා. ඔයා වගේ කෙල්ලෙක්ගේ ආදරේ ලබන්න ඔයාගේ රත්තරං තරම් මම පින්කරලා නැතුව සහෝදරී. ඔයාගේ රත්තරන් ඔයා ඉපදෙන හැම ආත්මෙකම ඔයාගෙම වෙලා ඉපදෙන්න කියලා මගේ හදවතින් ම පතමි.

    ReplyDelete
  3. හදවතින්ම ලියලා තියනවා කියලා මට හිතුනා . හදවතට දැනෙන ලියවිල්ලක් සහෝදරී ..

    අනේ අපොයි මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරනවද . ඒවත් එක්ක කමෙන්ට් කරන්න අපහසුයි

    ReplyDelete
  4. ඔයාලගෙ comment වලින් මගේ ඇස් වලටත් කඳුළු ආවා. ඒත් කඳුළු දැන් මා එක්ක හරි යාළුයි. මගේ ආදරේ ඒ තරම් ලස්සනයිද යාළුවනේ. එහෙනම් දෙයියො ඇයි අපිව කලින්ම ආදරේට යොමු කලේ නැත්තේ. ඔයාලා දන්නවද පුංචි කාලේ එයයි මායි පැර දෙපැත්තේ ගෙවල් දෙකේ හිටියේ. ඒත් අපි ආදරේ කලේ ප්‍රමාද වෙලා.

    Dinesh : අපිට එකතු වෙන්න බැරි අපි ආධ්‍යාත්මයෙන් බැඳුනට එයා භෞතිකව වෙන කෙනෙකුට අයිති වෙච්ච නිසා. ඒ හින්දා අපි හැමදේම ලබන ආත්මෙට කල් දැම්මා. මෙතනින් එහා සංසාරෙ මං ජීවත් වෙන්නේ ඒ ආදරේ වෙනුවෙන්.

    R.K. : අපිට මේ ආත්මෙ සැපවත් දිවියක් නම් විස්වාස නෑ. ඒත් මාත් කාවහරි බැඳලා හොඳින් ජීවත් වෙනවා. පුංචි වැරදීමකින් අපිට මේ ආත්මෙ අපේ වෙලා ජීවත් වෙන්න බැරි වුනත් එයා හැමදාමත් මගේ ආදරේ ගෞරවය ලබන්න තරම් වාසනාවන්තයි. ඔයාට ගොඩක් පිං සහෝදරයා ප්‍රර්ථනාව‍ට. ඔයාගේ හිතටත් සැනසිල්ලම ලැබෙන්න ඕන.

    සඳරු : හදවතටම දැනෙන දේවල් හදවතින්ම ලිය වෙනවා. වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න මං දන්නෑ. කියල එවනවද?

    මම blog ලියන්නේ office එකේ ඉඳන්. මට PC එකක් නෑ. මේ weekend එකේ මං ගෙදර හිටියෙත් හරි අමාරුවෙන්. මොකද මේ post එක බලන්න නැතුව. දැන් මගේ ආදරේට මට ලං වෙන්න පුළුවන් මේ වගේ දේවල් වලින් විතරයි. මට කියන්න බැරි වුනා එයා එදා ආවෙ මං එයාට දීපු දෙයක් දාගෙන. මට ගොඩක් සතුටු හිතුනා. මං ප්‍රාර්ථනා කරනවා මං එයාට birthday present එක දීපු වෙලාවෙ එයාගෙ මූණෙ ඇඳිච්ච හැඟීම් කවදාවත් මට අමතක වෙන්න එපා කියලා. මං ඒක ගත්තේ මගේ අළුත් රස්සාවෙ පලවෙනි පඩියෙන්. මට ස්ථිර රස්සාවක් ලැබෙන්න එයාගෙ ආශිර්වාදය ගොඩක් බලපාන්න ඇති. එයා කියනවා එයාට මං වෙනුවෙන් කරන්න පුළුවන් එච්චරයි ඒ නිසා ඒ දේ අනිවාර්යයෙන් මට ලැබෙනවා කියලා. ඇත්තටම අපි දුරස් වුනාට පස්සේ මගේ ජීවිතේ යහපත් වෙනස්කම් ඇතිවුනා. ඒ එයා නිසා කියලා මට දැනෙනවා. ඒත් ඒ කිසිම දේකින් එයාගෙ අඩුව වහන්න බෑ. එයා නැතුව මට ගොඩක් පාළුයි. තනිකමට තමයි මේක ලියන්නෙත්. කමක් නෑ මං ඉවසනවා. බුදු හාමුදුරුවො බුදු වුනෙත් පෙරුම් පුරලනේ. දැන් මෙකත් blog එකක් තරම් දිගයි නේද යාළුවනේ.

    ReplyDelete
  5. මටත් එයා නැතිව හුඟක්ම පාළුයි සහෝදරී ...එයාගෙන් sms ,calls,miss calls මුකුත් නෑ දැන්.මම එයාට SMS එකක්වත් නොයවා ඉදියොත් හරි එයා එව්වෙ නැති වුනොත් මට එදාට නින්ද යන්නේ නෑ.මට දැන් හරියාකාර නින්දක් නෑ. ඒ බැදීම මෙතරම් ප්‍රබල වෙන්නැත්තේ එයා ගිය ආත්මේ මගේම කවුරු හරි වෙන්නැති කියලා. අපේ අම්මා කිව්වා එයා මගේම ගිය ආත්මේ නංගි වෙන්නැති කියලා.එයා මේ ආත්මෙත් මගේ නංගි ඒත් එයා මගේම කරගන්න ඕන වුනා.අනික මේ ආත්මේ එයා මගේ නංගි කිව්වට කවුරුත් පිළිගන්නෙත් නෑ.එයා ඉන්න තැනක කිසි ම කදරයක් නැතුව ඉන්න කියලා හදවතින් ම පතනවා.පව් අනේ එයා මට පොඩි බබෙක් වගේ හැමදාමත්.එයාට මගේ පණ වගේ හැමදාටමත් ආදරෙයි.






    සහෝදරී,අද කොහොමත් තියෙන ආදරයවල් වල භෞතිකයටයි මූලික තැන දෙන්නේ.අධ්‍යයාත්මිකව මුල් තැන දෙන ආදරයවල් හොයාගන්නටවත් නැති තරම්.ඔයාලගේ ආදරය ගෞරවනීය ආදරයක්.මම ඒකට හිස නවා ආචාර කරනවා. sms ,calls,miss calls මුකුත් නෑ දැන්.මම එයාට SMS එකක්වත් නොයවා ඉදියොත් හරි එයා එව්වෙ නැති වුනොත් මට එදාට නින්ද යන්නේ නෑ.මට දැන් හරියාකාර නින්දක් නෑ. ඒ බැදීම මෙතරම් ප්‍රබල වෙන්නැත්තේ එයා ගිය ආත්මේ මගේම කවුරු හරි වෙන්නැති කියලා. අපේ අම්මා කිව්වා එයා මගේම ගිය ආත්මේ නංගි වෙන්නැති කියලා.එයා මේ ආත්මෙත් මගේ නංගි ඒත් එයා මගේම කරගන්න ඕන වුනා.අනික මේ ආත්මේ එයා මගේ නංගි කිව්වට කවුරුත් පිළිගන්නෙත් නෑ.එයා ඉන්න තැනක කිසි ම කදරයක් නැතුව ඉන්න කියලා හදවතින් ම පතනවා.පව් අනේ එයා මට පොඩි බබෙක් වගේ හැමදාමත්.එයාට මගේ පණ වගේ හැමදාටමත් ආදරෙයි.






    සහෝදරී,අද කොහොමත් තියෙන ආදරයවල් වල භෞතිකයටයි මූලික තැන දෙන්නේ.අධ්‍යයාත්මිකව මුල් තැන දෙන ආදරයවල් හොයාගන්නටවත් නැති තරම්.ඔයාලගේ ආදරය ගෞරවනීය ආදරයක්.මම ඒකට හිස නවා ආචාර කරනවා.

    ReplyDelete
  6. මගේ ජංගම දුරකථනයේ දෝසයක් තියෙනෙවා.ඒක නිසා දාන අදහස් දෙපාර දෙපාර වැටෙනවා. කනගාටුව ප්‍රකාශ කරනවා. කනගාටුව ප්‍රකාශ කරනවා.

    ReplyDelete
  7. ඒකට කමක් නෑ. ඔයාට පිං මගේ ආදරේ වටිනාකම පෙන්නල දෙනවට. ඔයාත් දුක් නොවී ඉන්න සහෝදරයා.

    ReplyDelete
  8. එයා මට 24*7 මතක් වෙනවා.දුක් නොවී ඉන්න අමාරුයි.එයා මගේ ආදරේ කවදාහරි තේරුම්ගනී.අනේ මට පින් දෙන්න තරම් දෙයක් කරේ නැනේ.ඔයත් දුක් නොවී ඉන්නකෝ....එයා මට 24*7 මතක් වෙනවා.දුක් නොවී ඉන්න අමාරුයි.එයා මගේ ආදරේ කවදාහරි තේරුම්ගනී.අනේ මට පින් දෙන්න තරම් දෙයක් කරේ නැනේ.ඔයත් දුක් නොවී ඉන්නකෝ....

    ReplyDelete
  9. අනේ කැමිලියා , මම දන්නේ නම් නැ මගේ ආදරේට මොනවා වෙයිද කියලා....ඔය දෙන්නා වගේම අපි දෙන්නත් පුදුමාකාර විදිහට ආදරෙන් බැදිලා ඉන්නේ.අපි දෙන්නා ආදරේ පටන් ගත්ත දවසේ ඉදලා කැවේ බිවුවේ උනත් එකට ඔෆිස් ගියෙත් එකට ..වැඩිම උනොත් දවස් කිපයක් මගහැරෙන්න ඇති....ඒ උනාට සමහර විට මට නැති එයාට තියන දේවල් නිසා අනාගතයේදි ඔය දෙන්නාට වගේම හිතේ ආදරේ තියාගෙන ලබන ආත්මේ වෙනකම් බලාගෙන ඉන්න වෙයිද දන්නේ නැ.ඇත්තම ආදරේ කියන්නේ අයිති කරගන්නම එකට නෙමේ ලොකේ කොහේ හරි හොදින් ඉන්නවා නම් ඇති කියලා ප්‍රාර්තනා කරන එකටයි..

    ReplyDelete
  10. ඇත්තම ආදරේ කියන්නේ අයිති කරගන්නම එකට නෙමේ ලොකේ කොහේ හරි හොදින් ඉන්නවා නම් ඇති කියලා ප්‍රාර්තනා කරන එකටයි..
    මේ කතාව සම්පූර්ණ ඇත්ත. මටත් එයා මේ ලෝකෙ කොහේ හරි හොඳින් ජීවත් වුනොත් හොඳටම ඇති. එක වෙලාවට නම් ගොඩක් දුකයි ලඟ නැතුවට. ඒත් අපි දුරස් සාමාජීය බැඳීම් වලින් විතරයි. සමහර අයට තමන්ගේ ආදරේ ලෝකෙනුත් ඈත් වෙලා ගියාම මොන තරම් දුක ඇත්ද? ඒ නිසා මං ඒ වෙලාවට මම සපත්තු ඉල්ලලා ඇඩුවට මේ ලෝකෙ කකුල් නැති අයත් ඉන්නවා කියලා හිත හදා ගන්න උත්සාහ කරනවා.
    ඔයාගෙ ආදරේට යහපතක්ම වෙන්න පතනවා..

    ReplyDelete
  11. කැමීලියා.. මමත් ඔය වගේම ආදරයක් දැන් විදිනවා. ආත්මීයව ඇති වුන බැඳීමක්. ඒත් අපි දෙන්නම දන්නවා අපිට අපේ වෙන්න බැරි බව. ඒත් අපි ගොඩාක් ආදරෙන් ඉන්නවා. ඉතින් කවදා හරි අපි දෙන්නට වෙන් වෙන්න වේවී, ඒත් අපේ හිතින් කවදාවත් වෙන් වීමක් වෙන්නේ නෑ.. අපි දෙන්නත් කාලයේ පමාවක් නිසා මුන ගැහුනේ ගොඩක් පරක්කු වෙලා.ඒත් මම එයාට ආදරෙන් බැඳිලා ඉන්නේ. අපි වෙන ආදරේ කරන අය වගෙම හිනාවෙනවා. ඒත් එයා කවදාවත්ම මාව අඬවලා නම් නෑ. ඉස්සරහටත් එහෙම කරන්නෙත් නෑ කියල මම දන්නවා, එකට ඉන්න සුළු කාලේ වුනත් ගොඩාක්ම ආදරෙන් ඉන්නයි අපි දෙන්න උත්සාහ කරන්නේ.. ඉතින් ඔයාගේ වගෙම එයාගෙ ජීවිතෙත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  12. කිමට බොහෝ දේ තිබුනත් කීමට සිත් නොදේ.මාත් එක්ක බලනකොට ඔයා වාසනාවන්තයි.අඩුගානෙ මුනගෑහිලා කතාකරන්නවත්.හිතේ තියෙන දේවල් කියලා හිනා වෙන්න අඩන්න.මට එහෙම වාසනාවක් නෑ.

    ReplyDelete
  13. ඔයා ගොඩක් වාසනාවන්තයි කැමීලියා ඔයා ලඟ නැතත් ඔයාගෙ ආදරේ මේ ලෝකෙ කොහේ හරි ජීවත්ව ඉන්නවා.ඒත් මගේ ආදරේ මට ඒ ආදරේ සුවඳ විතරක් ඉතිරි කරලා මේ ලෝකෙන් සදහටම යන්න ගිහින්.හැමදාමත් හිටියා වගේ මා වෙනුවෙන් එයා බලන් ඉඳීවි කොහේ හරි හොඳ තැනකට වෙලා.මං වෙනුවෙන් පුංචි පැතුමක් පතන්න පුලුවන්ද කැමීලියා ඔයාට?පැටලිලි නැති ලෝකෙක ආයෙත් මට ඒ රත්තරන් හදවත ලබාගන්න මේ මතකයන් එක්කම මාවත් එයා ගිය ලෝකෙටම ඉක්මනින්ම යවන්න කියලා.ඔයාට ගොඩාක් පින්

    ReplyDelete