Friday, September 16, 2011

අනේ දෙයියනේ මට වුන වියෝයා ...





අනේ අප්පුච්චියේ පහුගිය දවසක මට වෙච්චි දෙයක්. කාර්යාල සම්පත් අයථා පරිහරණය නිසා මගේ හෘදය වස්තුව දැඩි සේ කම්පනය වුනා. තව ටිකක් එහෙ මෙහෙ වුනා නම් බේරන්න පුළුවං වෙන්නේ උඩ ඉන්න දෙයියන්ටම තමයි. ඒත් මං කුණාටු මැද්දේ නොසැලෙන ගහක් වගේ ටිකක් විතර සැලි සැලී කෙලින් හිටියා.

මේ දවස් වල අපි හැමෝම ටිකක් විතර බිසී තමයි. ඒත් ඉතින් දෙයියනේ කියලා කැමීලියාගෙ ඔළුව නම් කොයි වෙලෙත් නිදහස්. ඇයි ඉතින් මොන වැඩේ කලත් ඔළුවෙ වෙන මීටර් ගොඩක් තියනවා කියලා ඔයාලා දන්නවනේ. ඉතින් මල කලබොලේ වැඩ කරන ගමන් ජංජාලේ සින්දුවකුත් බාන්න දාලා තිබුනා. මොන විකාර වැඩ කර කර හිටියත් ඒ හැම දෙයක් එක්කම රාජකාරි වැඩත් දඩ බඩ ගාලා කරන්න මට හොඳට පුළුවං. මට ඔය හැකියාව දීපු කෙනා තමයි අද මට වෙච්ච දේටත් වග කියන්න ඕන.

කොහොම කොහොම හරි අපේ බෑන්ඩ්විඩ්ත් එකට දරා ගන්න අමාරු තඩි මෙමරියක් ඩවුන්ලෝඩ් වෙන නිසා මුළු සිස්ටම් එකම ස්ටක් වෙලාලු. කාටද ඕවා කල්පනා වෙන්නේ හොඳ සින්දුවක් ලැබෙන්න යනකොට. අනික අපි කරන කියන හැමදේම සර්වරයෙන් බලන්න පුළුවං බව දැනගන්න කොට නැව ගොහිං, බඩු මාට්ටු. මක් කොරන්නද ඉතින් කැමීලියා‍ට උවමනාම දේවල් වලට හැර හොර වැඩත් ඒ තරම් බැහැ නොවැ. කො‍හොමත් මේක මම හොර වැඩක් හැටියට සැලකුවෙත් නෑ. ඉතින් චන්ඩියා වගේ හිටියා අතටම මාට්ටු වෙනකම්. අනික වැරැද්ද කරලා පැනලා යන්නෙ මක්කටෙයි. හිතට දිරි අරං මම තමයි කියලා කිව්වා. ඒකට මොකද මට ඇත්තටම බයත් හිතුනා
 
කොහොමහරි ටික වෙලාවකින් වැටලීම් කටයුතු අහවර වෙලා බලනකොට මං විතරක් නෙවෙයි මහ තැන් වල උදවියත් සෑහෙන ප්‍රමාණයක් මාට්ටු. මං ගන්න ගිය සින්දුව ඒ හැටි ලොකු එකකුත් නෙවෙයි. ඒ නිසා පොඩි මිනිහෙක් වෙච්ච මං ටිකක් විතර බේරුනා. කීප දෙනෙක් එකතු වෙලා සින්දු බාන කොට ලෝඩ් එක වැඩියිනේ. ඒ අස්සෙන් වෙන මොකක් හරි ප්‍රශ්නෙකුත් වෙලා කියලත් තේරුනා. කොහොමහරි බලාපොරොත්තු වුන තරම් සුනාමියකට අහු නොවී බේරුනා. මොනා වුනත් මගෙ හිතට හරි නෑ. මොකද කට්ටියගෙ වැඩ ටිකක් පාඩු වුනා මගේ සතුට වෙනුවෙන්. කැමීලියාට ගෙදර කොම්පීතරයක් නෑ නොවැ. ඉතින් මක් කොලත් මේ රාජකාරී වහල යටම තමයි.

දැන් ඉතින් සීමා මායිම් මැද යන්තම් මගේ බ්ලොග් සිඟිත්ත බලලා යන්න විතරක් මේ පැත්තේ එන්න ඕන කියලා මමම හිතා ගත්තා. ඇත්තමයි ජංජාලේ ඉතිහාස වාර්තාව අරං බලනකොට ඒකෙ මගේ බ්ලොගේ නම කී පාරක් තිබුනද. එවෙලෙ නම් මම සීතල වෙලා හිටියේ. ඒත් දෙයියනේ කියලා මුකුත් වුනේ නෑ. ඔය වාර්තාව මකලා දාන්නවත් මට ඕන කමක් තිබුනේ නැහැ නොවැ. නැත්නම් ඉතින් කලින් වැඩිහිටියන්ගේ උපදෙස් අරං මක්ක හරි කරලා තියන්න තිබුනානේ. ඒත් එහෙම කරන්න ඇයි වදේ මං හොර වැඩක්යැ කරන්නේ. අනික ඔය මොක කලත් මගේ බ්ලොගේට වැට බඳින්න ඇහැකි වෙයි මේ උන්දැලට. බලමුකො බලමුකො මොකද වෙන්නේ කියලා.... බැරිම වුනොත් කැෆේ එකක් හරි තියෙයිනේ ඔයාලා බලන්න එන්න. අනාගත ලැප් සිහිනයකට මේ උදවියත් උල් පන්දම් දෙනවද මන්දා. කොහොම වෙතත් හැමදාම මගෙත් එක්ක ඉන්න හො‍ඳේ මගේ හයියට.....



3 comments:

  1. ඔයා බය නැතුව ඉන්න කැමීලියා.. හැබැයි ඔය ඔෆිස් එකේ එහෙම විස්තර මේකේ දාන්නේ ටිකක් කල්පනාවෙන්....

    ReplyDelete
  2. මං බය වෙයි ඕවට. (ඔය කිව්වට ටිකක් විතර බයයි) වෙන මුකුත් විස්තර දාන්නේ නම් නෑ. මට වෙච්ච හදිය කියා ගන්න තමයි හිතලා හිතලා මේ පොස්ට් එකත් දැම්මේ. උපදේසෙට ගොඩක් ස්තූතියි. මට ඉතින් මේ කලාපෙ ඒ තරම් පුරුදුත් නෑනේ. ඔයාලගෙ උපදෙස් වල පිහිට තමයි.

    ReplyDelete
  3. මේක මටත් කරපු අනතුරු ඇගවීමක් වගේ. අනාගත ලැප් සිහිනයට සුබ පැතුම් කැමීලියා...

    ReplyDelete