යාළුවනේ අද මට හිතට සතුටු දවසක්. හැම දුකක්ම කියන ඔයාලට මේකත් කියන්න හිතුවා. අද මම මගෙන් ඈතට ගිය මගෙ හීනය මුන ගැහෙන්න ගියා. ඒ ලස්සන හීනය මේ ආත්මෙදි අපි දෙන්නටම හැබෑ කර ගන්න වෙන්නෙ නම් නෑ. ඒත් අපි ඉඳල හිටල ඒ හීනය අළුත් කර ගෙන මේ ආත්මෙ ජීවත් වෙන්න ශක්තිය ගන්නවා. අදත් ඒ වගේ ලස්සනම ලස්සන දවසක්.
සෑහෙන දවසකට පස්සෙ මට එයාව අද මුන ගැහෙන්නෙ. උදේ නැගිට්ට වෙලාවෙ ඉඳන් මාව ඇතුලෙන් ගැහෙනවා වගේ වුනා. එයා එනවා කියපු තැනට, ඒ කියන්නේ අපේ සුපුරුදු තැනට යනකම් මට හිතුනෙම එතනට තව දුර වැඩිවෙනවානම් කියලාමයි. මොකද එතකොට ඒ මොහොත තව ඉස්සරහටනේ. ඒත් ඉතින් මම කොහොමහරි ගියා. ලං වෙද්දි මාව ඇදන් වැටෙන තරම්, කාලෙකට පස්සෙ ඒ මොහොත කොහොම වේවිද කියලා. මගෙ පනටත් වඩා මං ආදරේ කරන මගේ ආදරේ කෙට්ටු වෙලාද මහත් වෙලාද එයා මට තිබුන ආදරේ වෙනස් වෙලාද ප්‍රශ්න ගොඩක් හිත ඇතුලේ. පව් එයා ගොඩක් වෙලා එතන හිටියා මං එනකම් ලංකාවේ පාරවල්වල මහිම නිසා. ඒත් මුකුත් කියන්නෑ කියලා මං දන්නවා. අනේ මගේ අහිංසකයා පළවෙනිම දවසෙ වගේම අදත් එතනම හිටගෙන හිටියා ඈත ඉඳන් මගෙ දිහා බලාගෙන. මම එදා ඉඳන් අද වෙනකම් සේරම සිදුවීම් හදවත් තිරයේ දිග ඇර ඇර හුඟක් අමාරුවෙන් හිමින් හිමින් එතනට ගියා.
සුපුරුදු ලෙන්ගතුකම ඒ හිනාමුසු පිලිගැනීම අපේ පළවෙනි දවසෙ වගේමයි. මාව හිරිවැටිලා ගියා යාළුවනේ සත්තයි. කඳුළු තෙරපෙනවා ඇස් වල. අමාරුවෙන් ඒවා රඳවා ගත්තා. එයා කෙට්ටු වෙලා. මුනත් ටිකක් විතර කළු වෙලා. ඒත් ඒ හිත ඒ ආදරේ රැකවරණය සෙනෙහස ඒ විදියමයි. අපි හිමින් හිමින් නිදහසේ මොනාහරි කන්න බොන්න පුළුවන් කතා කරන්න පුළුවන් තැනකට ගිහින් කේකුයි අයිස් කෝපියි ගත්තා. හැමදාම වගේ එයා කන්නේ බොන්නේ මං කැමති දේවල්මයි. ඒවට තමයි එයත් කැමති. අන්න ඒ වගේ ආදරනීය ගති නිසා තමයි එයා මගේ හිත මේ තරම් තදින් බැඳගෙන ඉන්නේ. ඒත් මේ ජීවිතේ අපේ මාවත් නොහිතපු විදියට වෙනස් වුනා. ලබන ආත්මෙ එනකම් අපි හිතින් විතරක් බැඳිලා මේ ජීවිතේ ගෙවා ගන්න නිහඩවම පොරොන්දු වෙලා තියනවා.
ඉතින් නිදහස් තැනකට ගිහින් අපි කතා කර කර කේක් කෑවා. අන්කිම කේක් කට එයා ටිකක් කාලා ඉතිරිය එහෙමම මට කැව්වා. මාව පිච්චෙන්නේ ඒ වගේ ආදරනීය වැඩ වලට. කොච්චර දුක හිතුනත් මං ඒ වැඩ වලට ගොඩක් කැමති. එයා පුරුදු විදියට මගේ ඔළුව අත ගගා හිටියා. (මං ඊට පස්සේ තාම ඔළුව පිරුවෙත් නෑ ලෝභයි වගේ.) එයාට මගෙන් ඈතට යන්න සිද්ද වෙච්ච දවසෙ ඉඳන් අද වෙනකම් අපේ අම්මට වත් මගේ ඔළුව අතගාන්න වුනේ නෑ. මං එයාට එයාගෙ පහු වෙච්ච උපන් දිනේ තෑග්ග දුන්නා. ඒකෙන් එයාට කිසිම ප්‍රයෝජනයක් නෑ. ඒත් ආදරනීය තෑග්ගක්. ඒක දැකලා එයාගෙ ඇස් බොඳවෙනවා මට තේරුනා. මගේ ඇස් වලිනුත් කඳුළු පේලි ගලාගෙන ගියා. මම ඒවට ඉඩ දීලා හිටියා. මොකද ඒ ඇස් දෙක ඉස්සරහ ඇඩුවත් මගෙ හිතට සැනසිල්ලයි. ඒ වැඩේට එයානම් කැමතිම නෑ. ඒත් මට ඒක නවත්තගන්න බෑ. එයා වෙනුවෙන් මට නිදහසේ කරන්න පුළුවනුත් එච්චරයි.
අද අපි ගොඩක් කතා කලා ඇත්තටම ගොඩක්. එයාලග ජීවිතේ ගැන මගේ ජීවිතේ ගැන. අද එයා ගොඩක් නිදහසේ කතා කලා. එයා ඒ කාලෙත් මේ සම්බන්ධය නිසා මගේ හිතට බරක් එකතු වෙන විදියට වැඩ කලේ නෑ. මං දන්නවා ඒක මැරෙන කල් ඒ විදිය තමයි. එයා ලඟ මට දැනෙන නිදහස මට නම් වචනයෙන් විස්තර කරන්න බෑ ඇත්තමයි. ඒ තරම් නිදහස්. කැමති දෙයක් කියන්න කරන්න මට පුළුවන්. එයා කවදාවත් මට අපහසුවක් වෙන විදියට හැසිරිලා නෑ. මින් ඉදිරියටත් අපි මොන විදියට කොහේ කා ලඟ ජීවත් වුනත් ඒක එහෙමමයි. හරියට හොඳ තාත්ත කෙනෙක් ගාව ඉන්නවා වගේ. එයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මගේ තාත්තට වඩා ගොඩක් හොඳයි. මම උපන් දා ඉඳන් තාත්තා මගෙන් ගොඩක් ඈතයි. ඒ හිස්තැන මගේ ආදරේ, පුංචි කාලෙකින් ආයි හොයන්න බැරි වෙන්න වහලා දැම්මා. ඒ තරමට එයාගේ ආදරේ අපරිමානයි. දැන් තියන වාතාවරණය අනුව අපි කොහොමත් ආදරේ කරන්නේ ඒ වගේ තද මානසික බැඳීමකින් පමණයි.
කොච්චර කැමති වුනත් ඉතින් ඉන්නවා කියලා අපිට දිගටම එහෙම ඉන්න බෑනේ. ඒ නිසා අමාරුවෙන් නැගිටලා ආවා. වෙන් වෙන්න කිට්ටු වුනාම මං එයාගෙ පින්තූරයක් අරන් මතකයට සාක්කියක් රඳව ගත්තා. එයා දන්නවා මේ වෙලාව මට ගොඩක් අමාරු බව. ඉතින් එයා මාව ඉක්මනින් පිටත් කලා. මං එයාගෙ කකුල් දෙක අල්ලලා වැඳලා මගේ රත්තරන්ට බුදු සරණ පතලා ආවා. එවෙලෙ ඉඳන් මගේ මුවේ ඇඳුනු හිනාව පැයක් දෙකක් යනකම් මගේ ලඟ තනියට හිටියා. මඟ දිගට මුන ගැහෙන හැමෝ එක්කම මට හිනා වෙන්න කතා කරන්න හිතෙනවා. ඒ මැද්දෙන් කඳුළුත් එනවා නැත්තෙ නෑ. මට කාලය නවත්තන්න හිතෙනවා ඒත් කොහොමද? අද මට මේ post එක type කරන්නත් සෑහෙන වෙලාවක් ගියා. අකුරු පැටලෙනවා යාළුවනේ. ඒ තරම් හිත ආදරේට ලෝභ කරනවා. post එකත් හිතුවට වඩා ගොඩක් දිගයි. ඒකට සමා වෙලා මේක කියෙව්වට පින්. මේ දෝර ගලන්නේ ඒ මොහොත මගේ හිතේ මැව්ව සතුට.
අද මේ ජීවිතේ එක් මන්සන්ධියකදි අපි මුන ගැහුනා. ආයෙත් වෙන් වෙලා අපේ පාරවල් වලට යොමුවුනා. තවත් මේ වගේ ආදරේ පිවිතුරු සුවඳක් විතරම විතරක් ගලා හැලෙන මංසන්ධි ගොඩක් තියේ අපේ මේ ජීවිතේ. හැබැයි කොච්චර කාල වලින්ද කියලා දන්නේ උඩ ඉන්න දෙයියොම තමයි. එතකම් මේ ශක්තියෙන් අපි ජීවත් වෙමු. මේ post එක කියවන හැමදාකම මට මේ මොහොත දැන් වගේ දැනේවි.
මගේ රත්තරන්ට මේ සසර පුරාවටම මං ගොඩක් ආදරෙයි. බුදු සරණයි ඔයාට. ඔයා කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕන. මේක කියවන ඔයාලට මේ අපබ්‍රංස ආදර කතාවේ (මොකද ඔයාල මේක දන්නේ මෙතෙක් ලියපු නිසදැස් වලින් විතරනේ.) සුවඳ දශමයක් හරි දැනුනා නම් comment එකක් නොදැම්මත් (දැම්මා නම් මට හිතට හයියයි.) ඔයාලගෙ මේ පිස්සු blog යාළුවට ලබන ආත්මෙ ඉඳන් උපදින හැම ආත්මෙකම මේ ආදරේ එයාගෙම, එයාගෙ විතරක්ම කරගන්න පුළුවන් වෙන්න කියලා පතන්න. ඔයාලටත් බුදු සරණයි. මං එයාගෙ මැණික, ඔයාලගෙ කැමීලියා මල.
Kabhi Alwida Naa Kehna...