Monday, August 29, 2011

ප්‍රේමයේ වියරුව






නුඹව හැරගිය නුඹේ පෙම ගැන
ගුණ ගී වයමින්ම නුඹ
ඔහු‍ට පෙම් කර
ඇති තරම් නිගා දී පෙමට
සියළු සිත් සතන් රිදවා හැර
ආයෙත් දුරස් වී ගොස්
අපි ආලෙන් වෙලෙන සඳ
ගලා ගිය විසල් පෙම දැක
ඩැහැ ගත්තේ කිමද මගේ ලෝකය
අමතක වූයේ කෙලෙසද නුඹට
රිදුම් දුන් තරම ඒ හදවතට
ඉතින් හරි යාවිද නුඹට...
ඉතසිතින් මා ඔහුට සුභ පැතුවද
රැකගනින් දැන්වත් මගේ ආලය
නුඹෙ නමට නීතියෙන් පවරගෙන...



Thursday, August 25, 2011

දේදුනු මන්දාරම







හීනියට පොද වැටෙන
ලස්සන වැස්ස දවසක
විසල් රුක් ගොමු පාමුල
ඔය පපුවට තුරුල් වෙලා
අපේම හීන ලෝකෙක
දොරටු විවර කරගෙන
ලස්සන ආදර කතා
රහසින් මුමුන මුමුන
අපි ඔහේ ඇවිද ගියා....
වැඩිදුර කිසි දෙයක් නොහිතාන....
කොච්චර ලස්සනද ජීවිතේ....
දැනුනා තුන් හිතටම....
ඒ දේදුනු හීන ගෙනා මන්දාරමට
මං තාමත් ගොඩක් ආදරෙයි ඔයාට වගේම....
අපි අපෙන් දුර ඈතට පියනැගුවාට....



සීමා නෑ ...




මං ඊයේ පොඩි ගමනක් ගියා අනේ. යන්න ඉතින් අදාල පුද්ගලායත් හිටියා නම් ඇත්තටම අපූරුයි. ඒත් ඉතින් මොනව කරන්නද? මනෝ පාර ගහගෙන තනියෙන් ගියා පාඩුවේ..

කොහෙද ගියේ කියලා තාම කිව්වේ නෑනේ
 



සීමාවක් නැති අනන්තය හොයා ගෙන අසීමාන්තික ගමනක්.... සීමා නෑ ...
ඔව් අන්න ඒක බලන්න තමයි ගියේ කොළඹ විශ්ව විද්‍යාලයේ New Arts Theatre එකේ. සමහර විට නම නිසා වෙන්න ඇති මං ආස වුනේ. මොකද කැමීලියා කැමති සීමාවල් වලට හිර නොවී අනන්තයටම යන්නනේ...

ප්‍රසංගය ඇත්තටම හොඳයි. කාලෙකට පස්සේ හිත ගිය දෙයක් බැලුවා.ඒ සින්දු සේරම වගේ ගොඩක් ලස්සනයි. මං කොහොමත් ෂෙහාන් කෞශල්‍යගේ සින්දු වලට හරිම කැමතියි. ඒත් එයා ඒ ඔක්කොම කිව්වෙ නම් නෑ. ඔයාලත් ෂෙහාන්ගේ සින්දු අහල ඇති කියලා මං හිතනවා. නැත්නම් අහලා බලන්න. ලෙනින්ග්‍රෑඩයේ ලීෂා... , අප්සරාවී... , ගිම්හාන මල් වරුසාවේ...

ඒත් ඒ ප්‍රසංගය තිබුනේ අභිෂේකා විමලවීර වෙනුවෙන්. එයාගේ "නොනිමි" කියලා නිසදැස් පොතක් එලිදක්වන්න. ඒ වෙනුවෙන් ප්‍රසංගයේදී දෙන්නම සින්දු කිව්වේ. අභීටත් ලස්සනට සින්දු කියන්න පුළුවං, ලියන්නත් පුළුවං. ඉතින් කැමීලියා සතුටින්... කාලෙකට පස්සේ කැමතිම දෙයක් බලපු නිසා. ඒක ඉවර වෙලා ඒ සතුටත් හිතේ පුරවගෙන වැස්සේ තෙමි තෙමි කැම්පස් ග්‍රවුන්ඩ් එක වටේ පාරෙන් පයින් ඇවිත් බස් එකේ ගෙදර ආවා. මගේ බ්ලොග් කියවන දන්නෝ දනිති එහෙම වෙලාවට මගේ හිතට දැනෙන සතුට... ඉතිං තනියෙන් වුනත් ලස්සන දවසක් ගතකලා.

ඒ වගේම අභීටයි ෂෙහාන්ටයි මං හදවතින්ම සුභ පතනවා සීමා නැති... අවසානයක් නැති... අනන්තයටම දිවෙන... හදවතටම දැනෙන... අපූරු නිර්මාණ කරන්න හැකියාව ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා.

සුභ පැතුම් ෂෙහාන්...
සුභ පැතුම් අභී...



Wednesday, August 24, 2011

පුංචිම පුංචි කතාවක්




අනේ ඇත්තටම මේ බ්ලොග් නිර්මාණකරුවන්ට නම් බොහොමත්ම පිං අයිති වෙන්ට ඕන අප්පා. කාටමහරි කියන්න හිතෙන, කියන්න කෙනෙකුත් නැති, කිව්වට පලකුත් නැති ඒත් නොකියා ඉන්න හිතෙන්නෙත් නැති පුංචි පුංචි රස කතා කියන්න මේ වගේ තැනක් නිර්මාණය කලාට. ඒ වගේම මගේ බ්ලොග් එකට ගොඩ වදින, මට සපෝට් එකට අකුරක් දෙකක් හරි කොටලා යන ඔයාල හැමෝවම මට සෑහෙන්න වටිනවා. එහෙම නොකරන අයත් වහාම ක්‍රියාත්මක වෙන පරිදි එහෙම කරන්න කියලා මං ඉල්ලා සිටිනවා. ඇත්තටම කව්ද කියලා හරිහැටි නොදන්න ඒත් ජීවි‍තේ විඳ දරා ගන්න අසීරු සිද්ධි වලදි ලඟ ඉන්න අයටත් වඩා හොඳට හදවතටම ලං වෙලා හිත බෙදා ගන්න යාළුවො පිරිසක් ඉන්න එක හරි අපූරු අත්දැකීමක්.

කතා ඇති. මෙන්න පුංචි සිද්ධියක් මගේ හිතට දැනුන.

ඔන්න එකමත් එක රටක කෙල්ලෙකුයි කොල්ලෙකුයි ගොඩක් ආදරෙන් සතුටින් ජීවත් වුනාලු.
ඔන්න එක දවසක්,
ඒ කොල්ලා එයාගෙ ආදරේට, ඒ කෙල්ලට මිස් කෝල් ගහනවලු උදේ පාන්දර එක දිගටම. ඕකෙ ඉතින් අමුතු දෙයක් තියේයැ. ආදරේ කරන අය කොහොමත් එහෙමනේ. එහෙම වෙලා විතරක් නතර වුනොත් ඇති. ඒත් මේ දෙන්නාගේ වෙනස දැන් එයාලා ඈත් වෙලා කාලයක් ගිහින් තියන එක.

ඉතින් කෙල්ලත් ඉක්මනට ඔපීසියේ ලෑන්ඩ් ලයින් එකකින් කෝල් එකක් දීලා අහලා බැලුවා හදිසියක්ද කියලා. නෑ... හදිසියක් නෙමෙයි ඒත් එයා ටිකක් අසනීපෙන්. කතා කර කර ඉන්න ගමන් කොල්ලා ප්‍රශ්නයක් අහනවලු කෙල්ලට ප්‍රසිද්ධ වේදිකාවෙ උත්තර දෙන්න අමාරු. ඒත් එයාටත් මේ වෙලාවෙම උත්තරෙත් ඕනලු. මක් කරන්නද? කොල්ලගේ හැටි ඔහොමම තමයි හරි මුරන්ඩුයි. කිව්වොත් කිව්වමයි. කෙල්ල කොල්ලට මුකුත් නොකියා හිමින් සීරුවේ අතේ තියන ජංගමයාගෙන් කෙටි පණිවිඩයක් යැව්වලු උත්තරේට. මෙහෙන් Delivered to …... වැටෙන කොටම එයා කියනවා හරි මට උත්තරේ ආවා ගොඩක් පිං කියලා. එයා කොහොමද ඒක දන්නේ..? Message එක කෙල්ලගෙන්මයි කියලා...
ආදරේ හරිම ප්‍රශ්නාර්තයක් නේද යාළුවනේ...?
දුක හිතුනා... ඒ ආදරේට සීත සෘතුව උදා වුනාට තාමත් හිම කැට අතරේ මිදිලා යන් නැතුව උණුහුමට තියන එක ගැන.

ඒත් මේ ආත්මෙට, සඳ මේ මහ පොලොවට අයිති නෑලු. දුරින් ඉඳන් අහසේ පායන හඳ දිහා බලාගෙන හඳ එලියෙන් සැනසෙන්න විතරයි පුළුවං. ඒත් ඒක මහ පොලොවට හරි අමාරුයිලු. උදව් කරන පුංචි තරු වලට ගොඩක් පිංලු...
මං ගිහින් එන්නම්...




Wednesday, August 17, 2011

පෙම්වතුන් ...







කහපාට අඳුරු හැන්දෑවේ
ඉපල් හැලුන ගස් පාමුල
වැට ඉනි අද්දරට වී
උණුහුමට ගුලිවුන
අඳුරු හෙවනැලි දෙකක්
එකට එක්ව ගයයි...
ලොව නිසලම බසින්
වදනින් පිට නොවන
හදවතටම දැනෙන
ආදරයේ සොඳුරුතම කව
ආත්මයටම දැනෙන්නට...



Monday, August 15, 2011

සඳ, තරුව හා මම




නිසල තරු කැට
සසල කල ඔබ
අහස තනිකර
දුර ගිහින් අද...

තරුව තවමත්
සඳට පෙම්බැඳ
නෙතු අයාගෙන
වලා අභියස...





Wednesday, August 10, 2011

සොඳුරු අදහසක්



If I could have just One Wish,

I would wish
to wake up everyday
to the sound of your breath on my neck,
the warmth of your lips on my cheek,
the touch of your fingers on my skin,
and the feel of your heart beating with mine.....

Knowing that I could never find that
feeling with anyone other than YOU.....



එකම එක ප්‍රාර්ථනාවක් කරන්න පුළුවං නම් මට,

මං ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම
හැමදාමත් අවදි වෙන්න ලැබෙන්න
මගේ ගෙලේ වදින ඔබේ සුසුම් වල හඬ‍ට
මගේ වත මඬලට දැනෙන ඔබේ තොල්පෙති වල උණුහුමට
මගේ ගත පුරා දුවන ඔබේ ඇඟිලි තුඩු වල ස්පර්ශයට
මගේ හදවතත් එක්කම ගැහෙන ඔබේ හදවතේ රිද්මයට....

නිහඬවම දැනගෙන
වෙන කවුරුවත් නොවෙන බව,
ඒ මගේ දඟකාර ඔබම බව....


ඇත්තටම ලස්සන අදහසක් නේද? පිරිසිදු ආදරයක සුවඳ විතරම විතරක් දැනෙනවා. මේ වගේ ආදරණීය හීනයක් හදවතින්ම ආදරය කරන කී දාහකගේ හිතේ ඇත්ද?

ඇත්තටම ගැඹුරු ආදරයකින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ පුංචිම පුංචි හිත සැනසිල්ලක් විතරක් වුනාට ඒ සැනසිලි දායක හැඟීමෙන් අපේ මුළු ආත්මයම නිවී සැනසෙන බව දැනෙන්නෙත් ගොඩක් සංවේදී හිත් වලට විතරයි
 
Translation එක ටිකක් Romantic වැඩිද මන්දා. සිංහලෙන් ලියද්දි හිතටම දැනෙනවානේ. ඒකයි හො‍ඳේ.

                                                                                                         කැමීලියා

Wednesday, August 3, 2011

අපේ පිය සටහන්...



         වෙන්ව ගිය දිවි මගේ
         කඩින් කඩ මුන ගැසී
         දෑත් පටලගෙන
         දෙනෙත් බිමට බර කරගෙන
         මුනිවත රැකගෙන
         සියළු හැඟීම් දැනීම්
         ඇඟිලි තුඩු වලින්
         හුවමාරු කරගෙන
         අළුත් කරමු අපි.....

                                  අපි අපේ ලොවේ තනි වී
                                  ආදරයෙන් පිය නැගූ
                                  මගතොට රැඳුනු
                                  දහසකුත් එකක් පා වලට පෑගුන
                                  කාලයේ දුහුවිලි තලයේ
                                  මිහිදන් වී නිදන
                                  ඒත්...,
                                  සදා එකටම ගමන් කල
                                  අපේ පිය සටහන්.....



Tuesday, August 2, 2011

හීනෙන්වත් ලඟට එන්න



නින්ද නේන රෑ තුන්යම
නුඹෙ මතකය පමණක් විත්
සිහිකර ඒ මුදු සෙනෙහස
දවා පෙලයි මගෙ හදවත..

        හීනෙන්වත් ලඟට එන්න
        කර වටේට අත දාන්න
       තොල්පෙති නලලත තබන්න
       නින්දෙදි හිස අතගාන්න...

                නිදි දෙව් දුව...,

                        ඇවිත් මාව වැලඳ ගන්න
                        ඔහුට එන්න හැකි වෙන්නට
                        වලා පෙලේ නැගිලා....
                        දුර ඈත තරුවෙ ඉඳලා....





කිසිදා තනි වෙන් නෑ...



පියාඹලා එන්න හිතයි කිරිල්ලියක් වගේ
නෙතින් විඳින රෝස පාට වලාකුලක් වගේ
මද පවනේ දැවටීලා මල් සුවඳක් වගේ
පයට නුඹේ පෑගෙන සුදු වැලි කැටයක් වගේ..

               සැනසිල්ලක් ඕනෙ වුනොත් කවදාහරි නුඹේ
               හිත රිදිලා දුක කියන්න ගෙවෙනා හැම වෙලේ
               මේ මිහිමත නුඹ කිසිදා තනි වෙන් නෑ ප්‍රියේ
               මං එන්නම් පාවිලා ආදරය අරන් හිතේ..





මැරෙන දාට....



මද සුළඟක් වෙලා එන්න
හීන් සැරේ ලඟින් ඉන්න...
විසල් රුකක් වෙලා ඉන්න
මගෙ හදවත සිසිල් වෙන්න...

රන් තරුවක් වෙලා ඉන්න
කළුවර රෑ එලිය දෙන්න...
හිරු එලියක් වෙලා එන්න
මගේ ලෝකය පුබුදු වන්න...

ඒත්..,
ඕන වුනොත් මට මැරෙන්න
මගෙ ආදරේ වෙලා එන්න...
නලල් තලය සිඹලා යන්න
මැරෙන්න මට ලේසි වෙන්න...




කුරුළු පිහාටුවක්



ඔයා...
හැම පැත්තෙන්ම හිතට එකතු වෙන
මහ මෙරක් තරම් බර
අහසේ පාවෙන රෝසම රෝස පාට
වලාකුලක් උඩ තියලා
මගේ ආදරේ අරගෙන
සැහැල්ලුවෙන්
මද සුළඟත් එක්ක
ඈතින් ඈතට පාවෙලා යන
පුංචි කුරුළු පිහාටුවක්...


                              මටත් කියා දෙන්න
                              හීන් සීරුවේ....
                              පාවෙලා යන්න ඒ වගේ
                              නීල ආකාසය දිගේ
                              අනන්තයට....



පෙති හැලිච්ච රෝස යාය ...



මල් පිපිලා පාට වැටුන
සුවඳ නිසා හිතම පිරුන
ජීවිතේම එලිය කරල
රටා මවපු රෝස යාය...

ආදරයෙන් දෝතට ගෙන
නෙලාගන්න සැරසුන කල
කඳුලැලි පිණිබිඳු කරගෙන
පෙති හැලිච්ච ‍රෝස යාය...







ප්‍රායෝගික යථාර්තයේ දිග ඇරෙන හැඟීම්බර හීන



ජීවිතේ හීනයක් තරම් ලස්සනද?
නෑ... කවදාවත් නෑ....
හැමෝගෙම හිත් වල හැබෑ කරගන්න බැරිවුන හීන තියනවා.

යථාර්තය හරි ප්‍රායෝගිකයි.
ඒක ඇත්ත. ඒත්.., හීන හරිම හැඟීම්බරයි.
ජීවත් වෙන්න වැඩිපුරම ඕන මේ දෙකෙන් කෝකද?
අනේ මම දන්නෑ... මට තාම තේරුම් ගන්න බෑ..
ඒත්...,
මට එක ප්‍රශ්නයක් තියෙනවා.
බිඳිලා ගිය හීන මැද්දෙ ගෙවෙන කටුක යථාර්තයෙදි වුනත්
ආදරේ පුරවගෙන ඇහිපිය නොහෙලා
අපේ ඇස් යාවුනොත්, අ‍පේ හිත් පැටළුනොත්
මුළු ලෝකෙම නතරවෙලා අපේ දිහා බලා ගෙන ඉන්නවා වගේ දැනිලා
අහස ගිගුම් දීලා මේ මහ පොළොව උඩ
එකම එක තත්පරේකට හරි
අපේ හීනය හැබෑවක් වුනොත්....


 ඒ එකම එක හැඟීම්බර තත්පරේ
හිත රිදවන ප්‍රායෝගික යථාර්තයට අයිති නැද්ද...?


                                                                                                                                 කැමීලියා