Monday, July 11, 2011

අද දවස



අද මගේ හිතට ගොඩක් වේදනා දවසක්. ඔව් යාළුවනේ අද මට හරි දුකයි.

සාමාන්‍යයෙන් කැමීලියා කියන්නේ යාළුවන්ට කරදරයක් වෙච්ච වෙලාවට වෙන මුකුත් කරන්න බැරිනම් අඩන්න හරි සෙට් වෙන කෙනෙක්. එහෙම දෙයක් වුනොත් මොන වැඩේ හරි පාඩු කරං කොච්චර අපහසුතා මැද්දේ හරි පුළුවං උපරිමය කරනවා එයා.ඒත් අද දවසෙදි ඒ කැමීලියාම එයාට ගොඩක් ලගින් ඉන්න කියලා හිත කියන පිරිසකගෙ කරදරයකදි මහ පුදුමාකාර අසරණ විදියකට අකර්මන්‍ය වෙලා ඉන්නේ. ඇත්තටම ගොඩක් දුකයි.

ඒත් අද මට කරන්න පුළුවං දෙයක් නැති වෙලා ගිහින්. මට අයිතියක් නෑ එයාලගෙම වෙලා ඒ කරදරේට පිහිට වෙන්න ඒත් මං කැමති නෑ නිකම්ම ඉන්න. මේ ලෝකෙ මිනිස්සු හදාගෙන තියන විවිධාකාර නම් තියන සාමාජීය බැඳිම් නිසා මට අද එහෙම ඉන්නත් සිද්ද වෙනවා. එහෙම වුනාම මට ගොඩක් දුකයි. දුරින් ඉඳන් නිසි අවසරයේදි කතා කරලා හොයලා බලන්න විතරම විතරයි මට පුළුවං.

කමක් නෑ මං හිත හදාගෙන ඒක හරි කරනවා. බුදු සාධුට, මම ගොඩක් විශ්වාස කරන විශ්ව ශක්තියට, උදේට දවල්ට හවසට මුස්ලිම් පල්ලියේ යාඥා ඇහෙන වෙලාවට ඒ දෙවියන්ට, උදේට වැඩට එනකොට පහුවෙන පල්ලියේ ඉන්න දේව මෑණියන්ට මම කියනවා හැමවෙලේම මේ ප්‍රශ්න ඉක්මනට විසඳිලා හැමෝගෙම හිතට සහනය දැනෙන්න කියලා. අනේ ඔයාලටත් පුළුවං නම් ඔයාල අදහන ආගමකින් මං වෙනුවෙන් පුංචි ප්‍රාර්තනාවක් කරන්න. යාළුවනේ වෙන කරන්න දෙයක් නැති තැනදි මං කරන මේ දේවල්, ටිකක් හරි වටිනවා නේද කියලා මට කියන්න...?



 

Friday, July 8, 2011

ලස්සනම විනාඩියක්




හැමදාම එකම මාතෘකාව ගැනම කියලා ඔයාලට දැන් ඒක තිත්ත වෙලා ඇති නේද? (දැන්වත් තේරුන එක ලොකුදෙයක් කියලා දැන් හිතනවා ඇති) අනේ සේරටම කලින් ඒකට මට සමා වෙන්න. හිතට වැඩිපුරම වද දෙන හැමෝටම කියන්නත් බැරි කාරණා ගැනනෙ ඔයාලට කියන්නේ. (හපොයි අපිත් කරගත්ත කරුමෙ නේද මේ පිස්සිගෙ බ්ලොග් කියවල?) වෙන කරන්න දෙයක් නැති කමට ඒ ගැන ලියනවා. එච්චරයි මට තියන සැනසිල්ල.අනේ බනින් නැතුව බලන්න හො‍ඳේ.

ඉතින් අද වෙන පොඩි දෙයක් කියන්නංකො

 
ඔයාලා කල්පනාවෙන් බලලා තියෙනවද හැන්දෑවට ඉර බැහැගෙන යනවා. (ඒ පාර තවත් මගුලක් කතා කරනවා කැමීලියා. සම සිතින් විඳ දරා ගනු මැනවි.) ඒ මුළු වෙලාවෙන්ම ලස්සනම ලස්සන විනාඩි කීපය ඉර ක්ෂිතිජයෙන් නොපෙනී යන අන්තිම වෙලාව. (මූද ලඟ නොවුනට අවුලක් නෑ ) ඒ වෙලාවට ගස් ගොඩනැගිලි ඔය හැමදේම පේන්නේ කළු පාටට. ඒත් අහස හරිම ලස්සන පාටවලින් හැඩවෙලා. ඒ වෙලාවට අහසෙ තරු එකක් දෙකක් මතු වෙනවා පේනවා. ඒ ලස්සන නිමේශය හරිම ඉක්මනටම ඉවර වෙනවා. මොකද මහ පොලවෙ විදුලි එලි දැල්වෙන්න පටන් ගන්නවනේ කළුවර වැටෙද්දිම. ඒත් ඒ විනාඩිය දෙක පුදුම ලස්සනයි. කොන්ක්‍රීට් පුරයක් වගේ තියන කොළඹ නගරෙත් ඒ වෙලාවට හරිම ලස්සනයි. මං දවසෙ කැමතිම වෙලාව තමයි ඒ. ඒ වෙලාවට මගෙ හිතේ විවිධාකාර ලස්සන සිතුවිලි ඇ‍ඳෙනවා මැකෙනවා. මං ආදරෙන් පරිස්සම් කරන හැම මතකයක්ම හිතේ දඟ කරනවා. ඒ හැමදේම නිසා මං ඒ වෙලාවට ගොඩක් කැමතියි. ඒත් ලඟදි ඉඳන් අවාසනාවට මට ඒ වෙලාව නරඹන්න වෙලා තියන්නේ ගෙදර ඉඳන්. (දැන් මං රජයේ සේවකයෙක් නිසා වේලාසන ගෙදර යන්න වෙලා අනේ) ඒ නිසා ගොඩක් ලස්සනට රස විඳින්න අමාරුයි. හැන්දෑවට කියන්න මං එයාව ආදරෙන් මතක් කලා කියලා. එයා නැතුව මට පාළුයි කියලා අපේ පැත්තටත් ලස්සනට එන්න කියන්න ඔයාලට පුළුවන්නම්.

බලන්නකො ඔයාලත් අද හැන්දෑව (වැහි වලාකුළු එහෙම නැත්නම්) ලස්සනයි නේද කියලා...

                                                                                                                                                                                                            කැමීලියා

තවත් දුක් ගීයක් ..


 
ඔයා මගේ සෙවනැල්ල වෙන්න
ඒත් .. සෙවනැල්ලටත් මගේ පස්සෙන් එන්න
ආලෝකය අවැසි නම්
අන්ධකාර‍යේදි මගේ තනියට කවුද ඉන්නේ..?
මගේ හිතද ? නෑ..
ඒක මාව දාලා හැමවෙලේම හැම තැනම දුවනවා
මගේ ශරීර කූඩුව..
මැරිච්ච ගමන් මාව දාලා යන්නම යනවා
මම කියලා කියන්නේ මේ සංසාර ගමනෙදි
මගේ ආත්මයට ලැබෙන විවිධාකාර ස්වරූප නම්,
ඔයා මගේ ආත්මය වෙන්න..
හැමදාමත් මගේ ලඟින්ම ඉන්න...
කවදාවත් වෙන් කරන්න බැරි වෙන්න...




මගේ පුංචි කුමාරයෝ



ජීවත් වෙමු ජීවිතේදි
වෙන වෙනම..
ඒත්...,
මේ ජීවිතෙන් ඈත‍ට යන දවසට
යන තැනක මං යන්නේ ඔයත් එක්ක විතරයි ..
එනවා නේද? ඔයා ඇහුවා ..

ඔව් එනවා මං ..
ගොඩක් ආසාවෙන් ..
එන්න මගේ අත ගන්න එදාට..
මගේ පුංචි කුමාරයෝ
අපි යමු සංසාරෙ ඈත ඉම හොයාගෙන
ආදරෙන් .. මං කිව්වා ..




Wednesday, July 6, 2011

මගේ සගයන්ට..,



එකින් එක ගෙන අකුරු
අමුනා පදවැල් ලියන්න
විතරම විතරක් හිතයි මට.. 
 
කැඩී බිඳී ගිය හිත ආපහු අලවගන්න
අපිලිවෙල ජීවිතය පිලිවෙලක් කරගන්න
මතකයෙන් හැඩි වූ මනස එකලසක් කරගන්න
පදවැල් දිගේ ගොහින්වත් නිදහස අරන් එන්න
ඇහැකි වේවිද මට රිදුනු හිත සනසගන්න

සබඳ මා සගයිනි...,
එනවා නේද මගේ සහයට
හෙවනැල්ල ‍වගේ මගේ පසුපස
අනන්තයටම යන්නට..




    
                                                                                             කැමීලියා

ජීවිතේ..



ජීවිතේ..

නූල කැඩිච්ච
සරුංගලේ වගේ..

අරමුණක් නැතුව
පාවෙනවා ඔහේ..

කැටයම් අරගෙන
අපේ අතීතයේ..

හිත රිද්ද රිද්ද
මතක ආකාසයේ..

                                                    

                                                                                                                            කැමීලියා
 

Friday, July 1, 2011

මගේ ආදරේ ...




යාළුවනේ අද මට හිතට සතුටු දවසක්. හැම දුකක්ම කියන ඔයාලට මේකත් කියන්න හිතුවා. අද මම මගෙන් ඈතට ගිය මගෙ හීනය මුන ගැහෙන්න ගියා. ඒ ලස්සන හීනය මේ ආත්මෙදි අපි දෙන්නටම හැබෑ කර ගන්න වෙන්නෙ නම් නෑ. ඒත් අපි ඉඳල හිටල ඒ හීනය අළුත් කර ගෙන මේ ආත්මෙ ජීවත් වෙන්න ශක්තිය ගන්නවා. අදත් ඒ වගේ ලස්සනම ලස්සන දවසක්.

සෑහෙන දවසකට පස්සෙ මට එයාව අද මුන ගැහෙන්නෙ. උදේ නැගිට්ට වෙලාවෙ ඉඳන් මාව ඇතුලෙන් ගැහෙනවා වගේ වුනා. එයා එනවා කියපු තැනට, ඒ කියන්නේ අපේ සුපුරුදු තැනට යනකම් මට හිතුනෙම එතනට තව දුර වැඩිවෙනවානම් කියලාමයි. මොකද එතකො‍ට ඒ මොහොත තව ඉස්සරහටනේ. ඒත් ඉතින් මම කොහොමහරි ගියා. ලං වෙද්දි මාව ඇදන් වැටෙන තරම්, කාලෙකට පස්සෙ ඒ මොහොත කොහොම වේවිද කියලා. මගෙ පනටත් වඩා මං ආදරේ කරන මගේ ආදරේ කෙට්ටු වෙලාද මහත් වෙලාද එයා මට තිබුන ආදරේ වෙනස් වෙලාද ප්‍රශ්න ගොඩක් හිත ඇතුලේ. පව් එයා ගොඩක් වෙලා එතන හිටියා මං එනකම් ලංකාවේ පාරවල්වල මහිම නිසා. ඒත් මුකුත් කියන්නෑ කියලා මං දන්නවා. අනේ මගේ අහිංසකයා පළවෙනිම දවසෙ වගේම අදත් එතනම හිටගෙන හිටියා ඈත ඉඳන් මගෙ දිහා බලාගෙන. මම එදා ඉඳන් අද වෙනකම් සේරම සිදුවීම් හදවත් තිරයේ දිග ඇර ඇර හුඟක් අමාරුවෙන් හිමින් හිමින් එතනට ගියා.



සුපුරුදු ලෙන්ගතුකම ඒ හිනාමුසු පිලිගැනීම අපේ පළවෙනි දවසෙ වගේමයි. මාව හිරිවැටිලා ගියා යාළුවනේ සත්තයි. කඳුළු තෙරපෙනවා ඇස් වල. අමාරුවෙන් ඒවා රඳවා ගත්තා. එයා කෙට්ටු වෙලා. මුනත් ටිකක් විතර කළු වෙලා. ඒත් ඒ හිත ඒ ආදරේ රැකවරණය සෙනෙහස ඒ විදියමයි. අපි හිමින් හිමින් නිදහසේ මොනාහරි කන්න බොන්න පුළුවන් කතා කරන්න පුළුවන් තැනකට ගිහින් කේකුයි අයිස් කෝපියි ගත්තා. හැමදාම වගේ එයා කන්නේ බොන්නේ මං කැමති දේවල්මයි. ඒවට තමයි එයත් කැමති. අන්න ඒ වගේ ආදරනීය ගති නිසා තමයි එයා මගේ හිත මේ තරම් තදින් බැඳගෙන ඉන්නේ. ඒත් මේ ජීවිතේ අපේ මාවත් නොහිතපු විදියට වෙනස් වුනා. ලබන ආත්මෙ එනකම් අපි හිතින් විතරක් බැඳිලා මේ ජීවිතේ ගෙවා ගන්න නිහඩවම පොරොන්දු වෙලා තියනවා
 

ඉතින් නිදහස් තැනකට ගිහින් අපි කතා කර කර කේක් කෑවා. අන්කිම කේක් කට එයා ටිකක් කාලා ඉතිරිය එහෙමම මට කැව්වා. මාව පිච්චෙන්නේ ඒ වගේ ආදරනීය වැඩ වලට. කොච්චර දුක හිතුනත් මං ඒ වැඩ වලට ගොඩක් කැමති. එයා පුරුදු විදියට මගේ ඔළුව අත ගගා හිටියා. (මං ඊට පස්සේ තාම ඔළුව පිරුවෙත් නෑ ලෝභයි වගේ.) එයාට මගෙන් ඈතට යන්න සිද්ද වෙච්ච දවසෙ ඉඳන් අද වෙනකම් අපේ අම්මට වත් මගේ ඔළුව අතගාන්න වුනේ නෑ. මං එයාට එයාගෙ පහු වෙච්ච උපන් දිනේ තෑග්ග දුන්නා. ඒකෙන් එයාට කිසිම ප්‍රයෝජනයක් නෑ. ඒත් ආදරනීය තෑග්ගක්. ඒක දැකලා එයාගෙ ඇස් බොඳවෙනවා මට තේරුනා. මගේ ඇස් වලිනුත් කඳුළු පේලි ගලාගෙන ගියා. මම ඒවට ඉඩ දීලා හිටියා. මොකද ඒ ඇස් දෙක ඉස්සරහ ඇඩුවත් මගෙ හිතට සැනසිල්ලයි. ඒ වැඩේට එයානම් කැමතිම නෑ. ඒත් මට ඒක නවත්තගන්න බෑ. එයා වෙනුවෙන් මට නිදහසේ කරන්න පුළුවනුත් එච්චරයි
 
අද අපි ගොඩක් කතා කලා ඇත්තටම ගොඩක්. එයාලග ජීවිතේ ගැන මගේ ජීවිතේ ගැන. අද එයා ගොඩක් නිදහසේ කතා කලා. එයා ඒ කාලෙත් මේ සම්බන්ධය නිසා මගේ හිතට බරක් එකතු වෙන විදියට වැඩ කලේ නෑ. මං දන්නවා ඒක මැරෙන කල් ඒ විදිය තමයි. එයා ලඟ මට දැනෙන නිදහස මට නම් වචනයෙන් විස්තර කරන්න බෑ ඇත්තමයි. ඒ තරම් නිදහස්. කැමති දෙයක් කියන්න කරන්න මට පුළුවන්. එයා කවදාවත් මට අපහසුවක් වෙන විදිය‍ට හැසිරිලා නෑ. මින් ඉදිරියටත් අපි මොන විදියට කොහේ කා ලඟ ජීවත් වුනත් ඒක එහෙමමයි. හරියට හොඳ තාත්ත කෙනෙක් ගාව ඉන්නවා වගේ. එයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මගේ තාත්තට වඩා ගොඩක් හොඳයි. මම උපන් දා ඉඳන් තාත්තා මගෙන් ගොඩක් ඈතයි. ඒ හිස්තැන මගේ ආදරේ, පුංචි කාලෙකින් ආයි හොයන්න බැරි වෙන්න වහලා දැම්මා. ඒ තරමට එයාගේ ආදරේ අපරිමානයි. දැන් තියන වාතාවරණය අනුව අපි කොහොමත් ආදරේ කරන්නේ ඒ වගේ තද මානසික බැඳීමකින් පමණයි
 


කොච්චර කැමති වුනත් ඉතින් ඉන්නවා කියලා අපිට දිගටම එහෙම ඉන්න බෑනේ. ඒ නිසා අමාරුවෙන් නැගිටලා ආවා. වෙන් වෙන්න කිට්ටු වුනාම මං එයාගෙ පින්තූරයක් අරන් මතකයට සාක්කියක් රඳව ගත්තා. එයා දන්නවා මේ වෙලාව මට ගොඩක් අමාරු බව. ඉතින් එයා මාව ඉක්මනින් පිටත් කලා. මං එයාගෙ කකුල් දෙක අල්ලලා වැඳලා මගේ රත්තරන්ට බුදු සරණ පතලා ආවා. එවෙලෙ ඉඳන් මගේ මුවේ ඇඳුනු හිනාව පැයක් දෙකක් යනකම් මගේ ලඟ තනියට හිටියා. මඟ දිගට මුන ගැහෙන හැමෝ එක්කම මට හිනා වෙන්න කතා කරන්න හිතෙනවා. ඒ මැද්දෙන් කඳුළුත් එනවා නැත්තෙ නෑ. මට කාලය නවත්තන්න හිතෙනවා ඒත් කොහොමද? අද මට මේ post එක type කරන්නත් සෑහෙන වෙලාවක් ගියා. අකුරු පැටලෙනවා යාළුවනේ. ඒ තරම් හිත ආදරේට ලෝභ කරනවා. post එකත් හිතුවට වඩා ගොඩක් දිගයි. ඒකට සමා වෙලා මේක කියෙව්වට පින්. මේ දෝර ගලන්නේ ඒ මොහොත මගේ හිතේ මැව්ව සතුට.

අද මේ ජීවිතේ එක් මන්සන්ධියකදි අපි මුන ගැහුනා. ආයෙත් වෙන් වෙලා අපේ පාරවල් වලට යොමුවුනා. තවත් මේ වගේ ආදරේ පිවිතුරු සුවඳක් විතරම විතරක් ගලා හැලෙන මංසන්ධි ගොඩක් තියේ අපේ මේ ජීවිතේ. හැබැයි කොච්චර කාල වලින්ද කියලා දන්නේ උඩ ඉන්න දෙයියොම තමයි. එතකම් මේ ශක්තියෙන් අපි ජීවත් වෙමු. මේ post එක කියවන හැමදාකම මට මේ මොහොත දැන් වගේ දැනේවි.

මගේ රත්තරන්ට මේ සසර පුරාවටම මං ගොඩක් ආදරෙයි. බුදු සරණයි ඔයාට. ඔයා කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕන. මේක කියවන ඔයාලට මේ අපබ්‍රංස ආදර කතාවේ (මොකද ඔයාල මේක දන්නේ මෙතෙක් ලියපු නිසදැස් වලින් විතරනේ.) සුවඳ දශමයක් හරි දැනුනා නම් comment එකක් නොදැම්මත් (දැම්මා නම් මට හිතට හයියයි.) ඔයාලගෙ මේ පිස්සු blog යාළුවට ලබන ආත්මෙ ඉඳන් උපදින හැම ආත්මෙකම මේ ආදරේ එයාගෙම, එයාගෙ විතරක්ම කරගන්න පුළුවන් වෙන්න කියලා පතන්න. ඔයාලටත් බුදු සරණයි. මං එයාගෙ මැණික, ඔයාලගෙ කැමීලියා මල.


Kabhi Alwida Naa Kehna...

හිතගිය සින්දුවක්..



ඔබ පෙරදා ආදරෙන්
මා ලඟින් උන් හැටි
එහි සැමරුම් රෑ තමයි ජීවිතේ...

මතකද හැන්දෑවේ අපි දෙන්නා
මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා...

ලස්සන සින්දුවක් නේද යාළුවනේ?

කැමීලියා