Wednesday, June 29, 2011

හමුවීම.. වෙන්වීම..




හිතේ දෝරගලන ආදරයෙන් දෝතම පුරවගෙන
හිරු නැගෙන හිමිදිරි පාන්දර දවසක
මේ රතු බිත්ති අතරේ මුනගැහුනා අපි..
ආදරයෙන් එක්වන්නට පැතුම් පතාගෙන..

දෝතින් වෑස්සෙන ආදරය හිතේ තද කරගෙන
හිරු බැහැගෙන යන හැන්දෑ යාමේ දවසක
මේ රතු බිත්ති මැද්දෙදිම වෙන්වුනා අපි..
මතු කිසිදාක ආදරයෙන් වෙන් වෙන්නට නොහිතාන..

අපි දෙතැනක රතු ගඩොල් බිත්ති එතැනම
සියල්ල දරාගෙන නිහඩව..
පුදුමයි නේද හමුවීම වෙන්වීම එකතැන..

ලබන ආත්මෙත් සුපුරුදු බව දැනේවිද
අපේ ආදර තොටුපල අභියස..
තවමත් ඉඳහිට සොයාගෙන ඇදෙන..



                                                                                                 කැමීලියා

Tuesday, June 28, 2011

මුන ගැහෙමු අපි ආයෙත් ...





මුන ගැහෙමු අපි ආයෙත්
එකම එක වතාවක්
කියන්න තියෙනවා ගොඩක්
පහුගිය කතාවල්
අහන්න තියෙනවා ගොඩක්
ඔයාගෙ දේවල්

හිතේ දුක්.. වේදනා..
සැනසුම්.. සුසුම්..
බලාපොරොත්තු.. අදහස්..
බෙදාගමු නිහඩවම දෑස් යා කර

ආයිත් Milo එකක් බොමුද
කාලෙකට කලින් ‍වගේ
තවත් නිසංසල තත්පර කීපයක්
ගෙවෙයි ඊ‍ට පස්සේ

ඊටත් පස්සේ
වෙන්වෙන්න මොහොතද?
නෑ.. එහෙම වෙන්න බෑ..

නවත්තමු ඒ නිමේශයෙන්
මේ මුළු මහත් විශ්වයම
තත්පරයක්වත් නොගෙවෙන්න
සදාකාලයෙන් සදාකාලයට...

                                                                                                                         කැමීලියා

Tuesday, June 14, 2011

දේදුනු හීනය

  
පන්හි‍ඳෙන් සිතුවම් කරන්නට හිතයි
අපේ ආදර හීනය...
දේදුන්නෙන්ම පාට ගෙන ආ යුතුයි
සායම් ගන්වන්න...


හැඩතලද නැති රේඛාද නැති
එහෙත්..,
මනරම් හැඟුමින්ම සපිරුනු
දුටුවනම සිත ප්‍රේමයෙන් මුසපත් වන
සිත්තම් කරන්නේ වෙන කොහිද එය මම..
සොඳුර නුඹේ සිත් අහසේම මිසක
පාරමි දම් පිරිය යුතුමය
තවත් ආත්මයක් ලබනා තුරාවට
දෑත් පටලා දෙනෙත් පියවා
සුසුම් හැඟුමන් එකට මුසුකර
විසිකරන්නට අපේ හිනය නීල ආකාසෙට
ලොවම දකින්නට ලොවටම විඳින්නට





අපි ගිමන් හරිමු
පෙම මෝදු වන දෙස බලා...
ආත්මයක් ගෙවා ආ මහන්සිය නිවෙන්නට...
ඉන්පසු විඳිමු ජීවිතය...



සිහිනයකි නුඹ මට
නින්දෙදී ලං වන..
   

 මිරිඟුවකි නුඹ මට
හැබැහින් දුරස් වන..


Thursday, June 9, 2011



අඬල හිත හැදෙනවා නම්
ඇති වෙනකම් අඬන්නම් ..
ලියලා හිත හැදෙනවා නම්
ඇති වෙනකම් ලියන්නම් ..

අතීතය සිහි වෙනවා නම්
ආදරෙන් රකින්නම් ..
ඈතින් බලං ඉන්නවා නම්
ජීවිතේ ගෙවන්නම් ..

ඒත් ..,
මතු හැම භවයකම ඔයා මගෙ නම්
ඉක්මනින් මියෙන්නම් ..






ඉස්සර මට මේ ලොකෙ ඇතුලෙ
මගෙමයි කියල පුංචිම පුංචි
හීන ලෝකයක් තිබුනා

ඔයා මහා ඉර එලියක් වෙලා ආවා මගේ ලෝකෙට ...

ඔයාගේ ආදරෙන් ඒ පුංචි හීන ලෝකය
මහා විශ්වයටත් වඩා ලොකු
හැබෑවක් උනා ඔයාගෙ හිත පාමුල

එයා මහා කුණාටුවක් වෙලා ආවා ඔයාව අරන් යන්න ...

මට මුළු විශ්වයම නැති වුනා වගේ දැනුනා
මගේ හීන ලෝකෙත් ඒ එක්කම මග ඇරුනා
දැන් මට ඉන්න තැනක් නෑ වගේ

ආයිත් ඔයා මහා වැස්සක් වෙලා එන්න විනාඩියකට ...

වැහි බිංදු වලට මුහු කරලා
මගේ පුංචි හීන ලෝකෙවත්
ආපහු මට දීලා යන්න





සඳ එලිය මට තියා
ඇය මගෙ සඳ අරන් ගියා ...
හිරු කිරණ ම‍ට තියා
ඇය මගෙ හිරු අරන් ගියා ...
හෙවනැල්ල මට තියා
ඇය ඒ රුව අරන් ගියා ...

ජීවිතය මට තියා
ඇය මගෙ ලොව අරන් ගියා ...

Monday, June 6, 2011

සමීර්ට...,












Hum Dil De Chuke Sanam ..
කාටද සොඳුරිය ..?
කවුද වැරදි ..?
කාගෙන් පලි ගන්නද ..?
ඔහුත් වැරදි නැත
ඇයත් වැරදි නැත
ඔබත් වැරදි නැත
ඔබම ඇයව නිදහස් කල පසු
වැරදි කාලයද ..?
ඔව් එහෙම තමයි

කෙසේ නමුත් ඉවසිය යුතුයි
සත් වසක් ගෙවෙනා තුරා
නැවත හමුවී එක් වෙන්න
එතෙක් Statue .. කරන්න
ඔබේ සිත .. ඇගේ සිත ..
ඔබේ කඳුලු .. ඇගේ කඳුලු ..
උතුරා හැලෙන ආදරය ..

ඇය කවදා හෝ එයි
කියා කී වසක් ගෙව්වද
ආත්ම හතකට ඇය වෙනතක ගොස් බව දැන
තත්පර අටක් ගෙවා ගන්නේ
කෙලෙසද පෙම්වත....
හැකිනම් ත්වරණය කරන්න
ඇයව හිමි කර
නැවත උදුරා ගත්
රුදුරු කාලය ...

Friday, June 3, 2011

හිතලා බලන්න මේ ගැන ...



















ආත්මාර්ථකාමී කමට එක්කෙනෙකුට දෙන්නෙකුට, තමන්ගේ වටපිටාවට විතරක් නැතුව පරාර්ථකාමී වෙලා ආදරය කරන්න මුළු ලෝකෙටම උදේට පායා ගෙන එන ඉර වගේ. බලන්න ඉර දිහා, හිතන්න ඒ ගැන, ලෝබ නැතුව මුළු ලෝකෙටම ජීවය අරන් මහන්සි නොබලා හැම උදේ පාන්දරකම එන හැටි. මිනිස්සු හැමෝමත් සත්තු හැමෝමත් ඒ උණුහුම බේද නැතුව විඳ ගන්නවා නේද? කෘතඥ වෙන්න ඒ ගැන සොබා දහමට. ඉගෙන ගන්න ඒකෙන් පාඩමක්.

උදේට ඉර පායද්දි, රෑට හඳ පායද්දි, මොර සූරන වැහි වහිද්දි, පාට පාට මල් පිපෙන කොට, නියං සාගත එනකොට, සෘතු මාරු වෙනකොට සොබා දහම මිනිස්සුන්ව වර්ග කරන් නෑ නේද? මහා මැදුරු වල අයටත්, මහ පාරෙ ඉන්න දුගී දුප්පත් අයටත්, සතා සිව්පාවටත් ඒ හැමදේම එකම විදියට ලැබෙනවා නේද? කියවන ඔයාම මේවට උත්තර හිතලා බලන්න. ඉතින් සොබා දහමට නැති භේදයක් අපිට කොහෙත්ම ඕන නෑනේ.

අපේ මොලය කොයි තරම් ලොකුයිද? ගොඩක් මිනිස්සු මැරෙන තුරාවට මොලේ සමහර කොටස් වලින් ප්‍රයෝජන ගන් නැතිලු. ඒත් මොලය‍ට යම් නිශ්චිත ධාරිතාවක් තියෙනවා. ඒක එහෙම වුනාට අපේ හදවතේ ධාරිතාව ගැන මොන පොතකවත් ලියවිලා නෑ නේද? අපේ හිත කියන්නේ මහා විශාල රික්තයක‍ට. ඒ රික්තය ආදරයෙන් පුරව ගන්න එක අපේ වැඩක්. සමහර මිනිස්සු ආදරේ කරන්න ලෝබ වෙන්නෙ හරියට ඒකෙන් තව කෙනෙකුට හිතේ තියෙන ආදරේ අඩු වෙනවා වගේ. ඒත් එහෙම වෙන්නෑ. ඒ නිසා බය වෙන්න එපා. අපේ හිතේ මේ මුළු විශ්වයටම දවසින් දවස වැඩිවෙන විදියට ආදරේ කරන්න ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම අපි මේ හිත‍ට එක තැනකින් විසබීජයක් දා ගත්තොත්, පරිස්සමින්, ඒක හැමතැනම පැතිරිලා ඔයාගේ හිතේ ඔයා කැමති තැනුත් විනාශ කරාවි හරියට බෝවෙන ලෙඩක් වගේ. ඒ නිසා කිසිම දෙයක් ගැන අහිතකින් වැරදියට හිතන්න එපා. එතකොට අපිට හැමදේම පේන්නේ ඒ විදියට.

ඉතින් හිතට ශක්තිය අරගෙන මේ ලෝකෙ ජීවත් වෙන හැම කෙනෙක්ම වෙනුවෙන් හැම සතෙක්ම වෙනුවෙන් සොබා දහම වෙනුවෙන් ඔයාගෙ හිතේ තැනක් වෙන් කරන්න
අදම. මැරෙන තුරාවට ඒ ඉඩ පුංචි ලමයි බැලුම් පුම්බනවා ‍වගේ පුම්බන්න. ඒත් හුලං වලින් එහෙම නෙවෙයි මුළු ලෝකෙටම සුවඳ පතුරන්න පුළුවං ආදරෙන්. ඒ අතරෙ සමහර බැලුම් ගොඩක් ලොකුවට පිම්බෙයි. ඒකට කමක් නෑ මොකද හැමෝටම ඉඩක් තියෙන එකත් ලොකු දෙයක්නේ. හදවතේ රික්තය ආදරෙන් පිරුනම ජීවත් වෙන එක ලේසියි කියල ඔයාටම හිතෙයි. දිව්‍ය ලෝකෙ යන්න පුළුවං වෙන්නෙ මේ පුංචි ජීවිත කාලෙදි ලොකුම ලොකු හදවතක් හිමි කර ගත්ත කෙනාටලු. ඉතින් අපි හැමෝම එහෙ යන්න උත්සාහ කරමු එකට එකතු වෙලා.






එදා වගේමයි ...










 
ඔයත් ඉන්නවා
මාත් ඉන්නවා
අපි හමුවුන හැම තැනක්මත් තියෙනවා

අපි ඒ පොද වැස්සට ආයි එන්න කියමු
එදා වගේම ...
ගොඩක් තෙමන් නැතුව අපිව
ඒත් සීතල පොද දෙක තුනක් එක්ක
අපි ගෙදර ගියාම ගොරවලා හයියෙන් වහින්න කියමු

රොටිත් හදාගෙන එමු
එදා වගේම ...
උණුවෙන් කෝපි බොමු හෙමින් හෙමින්
බස් එකේ ඔහේ යමු එහෙට මෙහෙට
පන්තිය ගාවදි අමාරුවෙන් අත අතාරිමු හවසට ආයි මුනගැහෙන පොරොන්දුවෙන්

ඉර බහින හැටි බලමු
එදා වගේම ...
හුලඟත් හමයි ඒ විදියටම
ඇවිදගෙන යමු ලස්සන පාරවල් දිගේ
අත් අල්ලගෙන ලඟටම වෙලා ඔහෙ කියව කියව

අන්තිමට බයිසිකලෙන් බස් එක පස්සෙන් එන්න දාල යන්න බැරුව
එදා වගේම ...

හැම දෙයක්ම
හැම තැනක්ම
එදා වගේමයි
තාමත් ...

ඒත් අපි , අපේ වටපිටාව , අපේ බැඳීම්
වෙනස්

අපේ හිත්, අපේ ආදරය , අපේ හැඟීම්
කිසිම වෙනසක් නෑ
එදා වගේමයි ...

අපි අපේමයි ...



කප්පරක් කල් ගෙවුනත්
කී වරක් සිත සිතුවත්
මහ මෙරක් සේ සිතුවම්
ඇ‍ඳෙයි සිත් අහසේ
නුඹ ගැනම ...

ලෝකයම මට කීවත්
නුඹ මගේ නොවනා වගක්
ඇයිද නොදැනේ කිසිත්
මගේමයි හැ‍ඟේ
නුඹ තවත් …

මම නුඹට පෙම් කරයි නම්
නුඹද මට පෙම් කරයි නම්
ලෝකය කුමක් කීවත්
හිතින් අපි අපේමයි
හැමදාමත් ...


 

ලැබේ නම් තවත් වරක් ....










දිවි මං තලාවේ
හමු විය යුතුම කල මගහැරී
මුනගැසුනි අප දෙදෙන
ලොවම පැටලුන විටෙක

ලිහාගන්නට ලතවිය
හදවත් ආදරෙන් පුරවාගෙන
එහෙත් ...
පෙර කුසල් මද වූ නිසාදෝ
ප්‍රේමය හදේ ගුලිකරගෙන
දෙතැනක ...

ලොව මැවූ දෙවියන්
ආදරය මැවූ සුරඹුන්
දේවි නම් අප හට තව වරක්
ආදරෙන් එක් වන්නට
හිත හදාගෙන ගෙවමු
මේ ආත්මය
සියළු පව් සේදෙන්නට
නොකැලැල්ව මුනගැසෙන්නට
ලබන හැම ආත්මයකම ...

ප්‍රේමය...

සිත පෙරුම් පුරයි
අසනට වදනක්

නෙත පෙරුම් පුරයි
විඳිනට දසුනක්

අප පෙමින් වෙලී සිටි
කාලය මනරම්

නොහැ‍ඟේ ඇයි දැයි
මේ හැටි සරදම්

පෙම සදා ඔබෙයි
දුර කොතෙක් වුවත්

සිත පුරා රැදී ඇත
ඔබේ හැඟුම්

ඔබ සිතින් පිදූ
ප්‍රේමය සුවිසල්

මට දැනී දැනෙනවා
හැ ම දා ම ත්...




ආදරය...



 




පාවෙන වලාකුළු
මවයි මට ඔබේ රුව හැමතැන

හමාගෙන යන සුලඟ
ගෙනෙයි මට ඔබෙ සුවඳ නිතරම

ඇවිද ගිය මගතොට
යලි ගෙනෙයි අපේ සොඳුරු මතක

ලා හිරුගෙ උණුහුම
සිහි කරයි මට ඔබේ ආදරය හැමදාම

ඒත්.....,

පරිස්සම විඳින්නට
කොහෙද අද ඔබේ උණුහුම් පපුතුර

සනසමින් ආදරෙන්
ඔළුව අත ගෑ දෑත

ආයි මුන ගැහෙන තුරු
දෙවි රැකවරණයට නලල මත තැබූ හාදුව

පාළුයි මට පාළුයි....
ඔබේ ආදරයේ සැනසුම නැතුව....


බලා ඉන්නවා මං ...

ගෙවමි මේ ජීවිතේ
සංසාර මාවතේ
එකම එක
සීතලම සීතල
දිගම දිග
වේදනාවෙන් බර
සීත සෘතුවක් යැයි සිතා..

හදේ කැලතෙන
හෙමින් මතුවන
ගැඹුරු
පිවිතුරු
නිකැලැල්
ආදරය
හිමට යට කර පරිස්සමට..

යලිත් මතු කර ගනිමු
මතු ලබන හැම ආත්මයකම
වසන්තයේ
සුවඳ දෙන
සියුමැලි
මලක් සේ
ඉවසමු අපි එදා වෙනකම්..

එනවා නේද ඔයා
බලා ඉන්නවා මං
අත් අල්ලං
හෙමින් හෙමින්
සුසුම් මානයේ
ගොඩක් ආදරෙන්
ඇවිද යන්න සංසාරේ පුරා..